ගරාජයක රැකියාවට පැමිණ දෙපයේ පිහිටෙන් රටේ අංක එක වූ ශම්මුගේ කතාව

By www.ceylonathletics.com | | Featured Articles, Latest News, Sinhala

මීටර් 10000 ඉසව්වෙන් වත්මන් ජාතික ශූරයා මෙන්ම, ජාතිම මහා ක්‍රීඩා උළෙල, ජාතික ශූරතාවලිය, යුද හමුදා ක්‍රීඩා රන් පදක්කම හිමිකරගත්, අහම්බෙන් ක්‍රීඩාව ආරම්භ කළ ශම්මුගේ කතාව.


ගම්මු හැරදා පැමිණි ශම්මුගේ වීර චාරිකාව : ඔහු කටුක වූ ජීවන සයුරෙන් එතෙර වීමට වෙර දරන යාත‍්‍රාවක් බඳුය. ජීවිතයට සුවයක් දීම පිණිස ඉදිරියට ඇදෙන මේ ගමනේදී වැඩි වශයෙන් ඔහුට සිදුවූයේ නොවිඳිනා දුක් උරුමකර ගැනීමටය. දුක කෙඳිනක හෝ සතුටට කාරණයක් කරගැනීමේ දැඩි අදිටනින් යුතුව, අතොරක් නැතිව පැමිණි බාධකයන් ආශිර්වාදයක් ලෙස භාර ගැනීමට හේ දක්‍ෂවිය. උන්දුව හා කැපවීම ඇතිනම් මිනිසෙකුට ජයගත නොහැකි අභියෝගයක් මේ ලෝකයේ නොමැති බවට ඔහු කඳිම නිදසුනකි. ක‍්‍රීඩාවෙන් ජීවිතය ආලෝකමත් කිරීමට වෙර දරණ මොහු නමින් කුමාර් ශම්මුගේස්වරන්ය.

ශම්මු උපන්නේ හැටන්හි වැලිඔය පුදුකාඩු ග‍්‍රාමයේය. එහි බහුතරයක් දමිළ ජනයා වෙසෙති. අයියෙක් අක්කෙක්ගෙන් යුත් පවුලේ බඩ පිස්සා ශම්මුය. පවුලේ බර කරට ගෙන සිටි ශම්මුගේ පියාට උරුම වී තිබුණේ බොහෝමයක් වතු ජනතාවට අරුමයක් නොවූ තේ දලූ සමග ඔට්ටු වීමටය.

කුඩා කල පටන්ම දරිද්‍රතාවයෙන් බැට කා සිටි ශම්මු හා හා පුරා කියා පාසල් ගමන අරඹන්නේ පුදුකාඩු දමිළ මහා විද්‍යාලයෙනි. එකළ සිය සීයා හා පාසල් යන ශම්මු ගෙදර සිට එක පිම්මේ පාසලට දුව යන්නේය. පාසල අවසානයේ පොත් බෑගය සීයා අත තබන ඔහු සුපුරුදු පරිදි නිවස කරා එන්නේ දිවගෙනය.

‘මේකා නම් කවදහරි දුවලා හොඳ තැනකට එනවා, කියලා මාව මග දකින අය අපේ සීයාට කියනවා මට අනන්තවත් ඇහිලා තියෙනවා’ යි පවසමින් ශම්මු කතාවට එක්වීය.

අගුරුඔය දමිල විද්‍යාලයටත්, රොසල්ල කුයිල්වත්ත දමිල විද්‍යාලයටත් අනතුරුව ඇතුලූවන කුඩා ශම්මු පාසලේ කැපී පෙනෙන්නේ මලල ක‍්‍රීඩකයෙකු ලෙසිනි.

‘එකපාරක් මට සමස්ත ලංකා දුවන්න අවස්ථාවක් ලැබුණා. තරගාවලිය තියෙන්නේ සුගතදාස ක‍්‍රීඩාංගණයේ කියලා තමයි කිව්වේ. ඒ නිසා ඉස්කෝලෙන් සල්ලි එකතු කරලා මට ස්පයික්ස් සපත්තු දෙකක් අරන් දුන්නා. ඊට කලින් ස්පයික්ස් සපත්තු දෙකක් මම දාල තියා දැකලවත් තිබුණේ නැහැ. කකුලේ යටට උල් තියෙන නිසා ස්පයිස් සපත්තු දකිද්දිත් බය හිතුණා.

‘සුගතදාස ස්ටේඩියම්’ කියලා අහල තිබුණට කවදාවත් ඒක දැකලා තිබුණේ නැහැ. මුල් පාරට පිට්ටනියයි, ඇවිත් හිටිය සෙනගයි දැකලා මම ගොඩක් බය වුණා. ඒ බයට එදා මට හරියට දුවා ගන්නත් බැරි වුණා.’

http://www.ceylonathletics.com/player/shanmu

කාලය ගෙවුණි. අපොස සාමාන්‍ය පෙල විභාගයේදී ශම්මුට සමත් වීමට වරම් ලැබුණේ විෂයන් පහක් පමණි. උසස් පෙළ විෂයන් හැදෑරීමට තරම් එය ප‍්‍රමාණවත් නොවූවත් ක‍්‍රීඩාවෙන් දක්වා තිබූ දක්ෂතා පදනම් කරගෙන ශම්මුට යළිත් පාසල් ඒමට අවස්ථාවක් සලසා දීමට තරම් එවකට පාසලේ විදුහල්පතිවරයා කාරුණික වූයේය.

‘මට ඉගෙන ගන්නවාට වඩා ඕනේ වුණේ සල්ලි කීයක් හරි හම්බ කරලා තාත්තාට උදව්වක් වෙන්නයි. ඒ නිසා මගේ පාසල් ගමන එතැනින් නතර කළා…’

යන්තමින් වයස සම්පූර්ණ වෙද්දී තේ වත්තේ දලූ කඩා සිය පියාට ආර්ථිකමය වශයෙන් සවියක් වීමට මේ කොලූ ගැටයා සිහින දකිමින් සිටියේ, ඉන් එහා ලෝකයක් ඔවුනට නැතිය යන මතයේ සිටිමිනි. පසුව වත්තේ වැඩට යාමට දින සති ගනිමින් සිටි මොහුට ගමේ තරුණයෙක්ගෙන් ඇරයුමක් ලැබුණේ රැුකියාවක් කිරීමට කොළඹ යෑමටය.

‘අපේ ගමක කෙනෙක් කොළඹ රස්සාවකට යනවා කියන්නේ පිට රට රස්සාවකට යනවා වගේ.’ ෂම්මු පැවසීය.

අඳින්න පුලූවන් තත්ත්වයේ ඇදුම් කඩමාලූ දෙක තුනක් එක්ක කොළඹ එද්දි හැමෝටම හොරෙන් තවත් ඇදුම් කට්ටලයක් ඒ මල්ලේම කොනකට ඔබා ගන්නේ හදවතේ කොණක තවත් ආශාවක් ඔඩුදුවා තිබුණු හෙයිනි.

කොළඹට ආ ශම්මුට පැවරුණේ වැල්ලවත්තේ සර්විස් එකක වාහන සේදීමටය. රැුකියාව අතරතුර නානාවිධ වාහන අතපත ගෑමට ශම්මුට ඉඩ ලැබිණි. කිසිදා නොදුටු වාහනද ඒ අතර විය. වාහන පිස්සෙක් වූ ශම්මුට තේ ගස් අස්සේ රිංගා වැඩ කරනවාට වඩා මෙය ඉස්තරම් රැුකියාවක් යැයි හැගී තිබිණි.

කාලයක් රස්සාව කරන ඔහු ආයතනයේ හිමිකරුගෙන් ඉල්ලීමක් කරන්නේය. ඒ රැුකියාවට ඒමට පෙර පාන්දර තමන්ට දුවන්නට අවසර දෙන ලෙසටය. එය අහිංසක ඉල්ලීමකි. මේ සඳහා කොන්දේසි විරහිතව අයිතිකරුගේ කැමැත්ත ලැබෙන්නේ ශම්මුව සිහිනයක එලිපත්තට තල්ලූ කරමිණි. ඒ අනුව එදා ගමෙන් එද්දී බෑගයේ රුවාගත් අනෙක් ඇඳුම් කට්ටලය ඔහු එලියට ගන්නේය. ඒ ඔහුගේ ක‍්‍රීඩා ඇඳුම් කට්ටලයයි.

‘සතුට වැඩි කමට ඊට පහුවදා පාන්දරම වැල්වත්ත බීච් එක පැත්තේ මට ඇති කියලා හිතෙනකම් දිව්වා. ඒ විදිහට කිසිම ව්‍යායාමයක්, විවේකයක් ගත්තේ නැතුව හැමදාමත් පාන්දරට දිව්වා.’

ඔය අතරේ මට ආරංචි වුණා කළම්බු මැරතන් කියලා තරගයක් ගැන. ඒකේ කිලෝමීටර් 10 තරගයට මම ඇප්ලිකේෂන් එකක් දැම්මා.
තරගය තියෙන දවස එන්න එන්න කිට්ටු වුණා. ඒ වෙනකොට මගේ සපත්තු දෙක හොඳටම අබලන් වෙලයි තිබුණේ. සපත්තු දෙක දැම්මම ඉරුණු තැන් වලින් ඇගිලි දෙක තුනක් එළියට පැන්නා. ඒක දැකලා දුක හිතිලා සර්විස් එකේ මහත්තය තරගයට කලින් මට සපත්තු ජෝඩුවක් අරන් දුන්නා.’

එය හරියට පියාඹන්න වෙර දරණ කුරුල්ලෙකුට අලූත් අත්තටු ලැබුණා හා සමානව ෂම්මුට දැනී තිබිණි. ‘හිතපු නැති විදිහට කළම්බු මැරතන් තරගයේ ඒ ඉසව්ව මම දින්නා.’

ශම්මු කොලොම්පුරයේ ජය කෙහෙළනංවද්දී ඔහුගේ පවුලේ උදවිය ජීවිතය ගැට ගසා ගන්න තේ ගස් එක්ක සටන් වදිමින් සිිටියේය. ඔය අතරේ අම්මාද තනිව වැඩපලක් කර ගැනීමට නොහැකි සේ ඔත්පල වූයෙන් ශම්මුගේ හිසට දරා ගැනීමට අපහසු තවත් බරක් එක්විණි. මේ නිසා වෙනදාට වඩා උපයන වැටුපින් වැඩි මුදලක් ගෙදරට යැවීමට ශම්මුට විය. එනිසා ශම්මුටත් කාගේ හෝ අතදීමක් අවැසි කාලය කෙමෙන් කෙමෙන් උදා වී තිබිණි.

‘අම්මාගේ අසනීපයත් එක්ක මගේ වියදම් තනිවම දරාගන්න බැරි තත්ත්වයක් ආවා. දවසක් සර්විස් එකට ආව හෙට්ටිවීදියෙ මහත්තයෙක්ට මගේ කතාව කියලා පුලූවන්නම් උදව් කරන්න කිව්වා. ඒ මහත්තයා මගෙන් ඇහුවා ආමි එකට යන්න කැමතිද කියලා.
ඒ යෝජනාවට මමත් කැමති වුණා. මාස පහක් විතර සර්විස් එකේ වැඩ කරන ගමන් සජිත් ජයලාල් සර් යටතේ පුහුණුවීම් කළා. ඊට පස්සේ තමයි ආමි එකට දුවන්න අවස්ථාව ලැබුණේ.’

ශම්මු සර්විස් එකේ ඉන්නතාක්කල් සිංහල වචනයක් හෝ කතාකර තිබුණේ නැත. යුද හමුදාවේ පුහුණුවීම් වලට පැමිණීමත් සමග පුහුණුකරු හා ගණුදෙනු කිරීමේදී වැඩි වශයෙන් දෙදෙනා අදහස් හුවමාරුකර ගත්තේ හස්ත මුද්‍රාවෙණි. ශම්මු පවසන පරිදි ක‍්‍රීඩාවේ නිසි ගුරුහරුකම් ලබන්නේ සජිත් මහතාගෙනි.

යුද හමුදාව නියෝජනය කරමින් ශම්මු සිය දක්ෂතාව මුලින්ම උරගා බලන්නේ 2016 වසරේදීය. එතැන් පටන් තරගාවලි කිහිපයකට ඔහු සහභාගී වුවද ජයග‍්‍රහණයේ සව්දිය පිරීමට තරම් ඔහුගේ අත්දැකීම් ඔපනැංවී නොතිබුණි.

පරාජය ශක්තියක් කරගෙන වඩ වඩාත් සිය දක්ෂතා මුවහත්කරගෙන ක‍්‍රීඩාවෙන් පොහොසත් වූ ශම්මු 2018 දී පරිපූර්ණ ක‍්‍රීඩකයෙකුගේ චරිතය රගදැක්වීමට සැදී පැහැදී සිටියේය. අනතුරුව ඔහු සහභාගී වූ පළමු මීටර් 10,000 ඉසව්ව විනාඩි 31.16 කින් අවසන් කිරීමට තරම් ඔහු සමතෙක් විය.

එමගින් වියට්නාමයේ විවෘත මලල ක‍්‍රීඩා ශූරතාවලියට දොරටු විවර කරගත් ශම්මු එහිදී රන් පදක්කම දිනා ගනිමින් ශ‍්‍රී ලංකා ධජය ඉහළින් ඔසවා තැබූවේය. ඉන් පසු ජාතික මලල ක‍්‍රීඩා ශූරතාවලියේ මීටර් 10,000 ඉසව්වේ ශූරයා වූයේද ශම්මුය.

අනතුරුව ඔහු ඉදිරියේ වූ ප‍්‍රධානතම අභියෝගය වූයේ ජාතික මහා ක‍්‍රීඩා උළෙලයි. එතෙක් ජාතික මහා ක‍්‍රීඩා උළෙලක අත්දැකීමක් නොවූ ඔහු එම කඩයිමද ඉකුත්දා පහසුවෙන් ජය ගත්තේ මීටර් 10,000 ඉසව්වේ ඔහු තරම් ජගතෙකු මේ මොහොතේ මෙරට තවත් නැති බව පසක් කරමිණි.

මේ වනවිට 26 හැවිරිදි ශම්මු මීටර් 10,000 ඉසව්වේ ජාතික ශූරයාය. හිත ඇත්නම් පත කුඩාද කියන්නැහෙ ඔහු ආ කටුක වූ මග යළි යළි සිහිපත් කරන්නේ කඳුලූ පිරි දෙනෙතිනි.

ඔහුත් සමග කළ කතාව අවසානයේ ළඟදි ගෙදර ගියේ නැතිදැයි අපි විමසුවෙමු…

‘අපේ ගෙවල් පැත්තේ තුන්වේලම කන්නේ රොටි නිසා ගෙදර ගියොත් හරියට කෑම වේලක් වැටෙන්නේ නැහැ. ඒ නිසා ළඟදි ගෙදර ගියේ නැහැ. මාත් ගොඩක් ආසයි රොටී කන්න, ඒත් ක‍්‍රීඩා කරන නිසා දැන් කෑම ගන්නෙ හරි පරිස්සමින්.

මට ගොඩ යන්න තියෙන එකම ක‍්‍රමය තමයි දුවන එක. තවමත් අපේ ගෙවල් තියෙන්නේ ඉටිකොල වලින් වටකරලා. මම හිතනවා මගේ කකුල්දෙක මේ හැමදේටම ඉක්මනින් විසදුමක් ගෙනෙයි කියලා.’

දිගු කතාබහකට එක්ව සිටි ශම්මුගෙන් විවාහය ගැන විමසීමේදී, ‘විවාහය ගැන හිතන්න කලියෙන් ඉපදුණ රටට දෙයක් කරන්න ඕනේ. අර කියමනක් තියෙන්නේ උපන් රටට ණය කාරයෙක් වෙන්නේ නැතිව මැරෙන්න ඕනේ කියලා. මගෙත් එකම ආසාව එය යැයි මේ දමිළ තරුණයා දැඩි අධිෂ්ඨානයෙන් යුතුව පවසා සිටියේය.

ගයාශාන් විතානආරච්චි – සතිඅග අරුණ

wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org