ආබාදය බාධාවක් කර නොගෙන ක්‍රීඩාවෙන් ම ජීවිතය ජයගත් චතුර්දිකා – කියවිය යුතු කතාවක්
|දුර පැනීමෙන් හා තුන්පිම්ම ඉසව්වෙන් ජාතික තලයේ ඉදිරියෙන් පසුවන ක්‍රීඩිකාවක්වන ගුවන් හමුදාව නියෝජනය කරන ක්‍රීඩිකා චතුර්දිකා තිලකරත්න මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් හඳුනන ක්‍රීඩිකාවක්.
ඇය තම කුඩා කළ ගැන තැබූ සටහනක් මගින් තරුණ ප්‍රජාවට විශේෂ පණිවිඩයක් ගෙන විත් තිබේ.
වාරියපොළ ප්‍රදේශයේ උපත ලැබූ චතුර්දිකාගේ ළමා කාලය එතරම් සුන්දර මතක සටහන් හා බැඳුණු එකක් නොවේ. කුඩා කල සිට රෝහල් හා ශල්‍යකර්ම සමග ගෙවුණු ජීවිතයෙන් පන්නරය ලබා අද වන විට ඇය ජාතික තලයේ ක්‍රීඩිකාවක් මෙන්ම වෘත්තීය මට්ටමේ උපදේශිකාවක් (Counsellor) ලෙස ජීවිතය ජය ගෙන සිටියි.
ජාන විකෘති තත්ත්වයක් හේතුවෙන් හටගන්නා රෝගී තත්ත්වයකින් (Cleft Lip and Cleft Palate) උපත ලැබූව ද බාධා ජයගෙන ඉදිරියට ගමන් කිරීමට ඇය තරුණ ප්‍රජාවට ආදර්ශමත් චරිතයක්.
ඇයගේ ජීව දත්ත තොරතුරු නැරඹීමට පිවිසෙන්න
මේ ඇයගේ කතාවයි…
“අපි හැමෝටම ජීවිතේ කතාවක් තියනවා. එත් ඒ හැම කතාවක්ම ආදර්ශමත් කථා වෙන්නේ හරිම කලාතුරකින්. මේ කතාව කියන්නේ ලොකුකම පෙන්වන්න නොවේ. අනුකම්පා ලබා ගන්නත් නොවේ. ජීවිතේ අඩුපාඩු ගැන විඳවන දුක්වන අයට යමක් මගේ ජීවිතයෙන් ලබා දෙන්න ඕනේ කියලා හිතුනා නිසා.
මා ඉපදුනේ 1991.08.28 මේ ලෝකේ සෑම දෙමාපියෙක්ම සිහින දකින්නේ අංග සම්පුර්ණ දරුවෙක් ලබන්න දකින්න. නමුත් මගේ දෙමාපියන්ට ඒ අවස්ථාව අහිමි වුණා. ඒ මා ඉපදෙන්නේ මුහුණේ උඩු තල්ල හා විදුරුමහ නැතිව එක නාස් පුඩුවක් පමණක් සහිතවයි.
තම ළයෙන් එරෙන කිරි ටික දරුවාට දීමට නොහැකි තරමට සිදුරු සහිත වුණා.
එත් මාගේ දෙමාපියන් මාව අත් හැරියෙ නෑ. එරුණු මව් කිරි දොවා තින්ත බටෙන් මගේ මුවට දැම්මා.
ඔවුන් එහෙමයි මාව පෝෂණය කර මාව ජීවත් කළා.
සියලුම බලාපොරොත්තු නැතිකර ගෙන හිටපු මගේ දෙමාපියන්ට මේ අවස්ථාව ඇති වීමට හේතුව පැහැදිලි කළ වෛද්‍යවරුන් පැවසුවේ, ඔවුන් ඇවැස්ස නෑදෑයන් වීම මේ තත්වයන්ට හේතුව වූ බව.
කෑගල්ල මූලික රෝහලේ එවකට සිටි වෛද්‍ය උපාලි මාරසිංහ මහතා මෙවන් තත්වයකට පත් ව සැත්කමකට ලක් කල තවත් දරුවෙක්, මගේ දෙමාපියනට පෙන්වා ඔවුන්ට බලාපොරොත්තුවක් ලබා දුන්නා .
ඉන් පසුව කළුබෝවිල රෝහලේ රෝහණ කුමාර වෛද්‍ය තුමා වචන උච්චාරණය කරන්න පෙර සැත්කමට යොමු කරා .ඒ අනුව මාව සැත්කම් තුනකට භාජනය කළා. ඒ නිසාම මගේ ඇස් පෙනීමද දුර්වල වුණා.
පාසල් කාලය
වාරියපොල සුමංගල ජාතික පාසලට පළමු වසර සඳහා ඇතුළත් වු මට, ගැටලුවක් ඇති නොවුණි. ඒ, මගේ පන්ති භාර ගුරුවරුන් දැනුවත් කර තිබූ නිසායි. ඒත් සම වයසේ අනෙක් දරුවන්ගෙන් මට ගැටලු ඇති වුණා. මාව සෙල්ලම් කරන්න ගත්තේ නැහැ. මට යාළුවෙක් හිටියේ නෑ. එයාලා මට හිනා උනා. මං පන්තියේ අන්තිමයා.
මට එතකොට තේරුණේ මගේ තොල ගාව අඩුව. මන් ගෙදර ගිහින් කණ්ණාඩි ගාවට ගිහින් නිතරම බැලුවා. මන් අම්මාගෙන් ඇහුවාම අම්මා කිව්වේ පොඩි කාලේ ඇද පල්ලෙ වැටිලා තුවාල වෙලා කියලා.
මට අම්මා එක්කම පාසලට යන්න ඕනේ වුණා. මන් ඉගෙන ගන්නකන් අම්මා පාසලේ වැඩකාර වැඩ කරා. මට අම්මා ඉන්නවානම් හරි සතුටුයි. මේ විදියට පාසල් යන විට අම්මාට විදුහල්පතිනි විශේෂ අධ්‍යාපන පුහුණුවකට යොමු කරා. පසුව අම්මාට ගුරු පත්වීමක් ලබා දුන්නා.
විශේෂ අධ්‍යාපන සහකාර අධ්‍යක්ෂක ප්‍රසන්න කුමාර මහතා අම්මාව ආබාධිත (විශේෂ්‍ය අවශ්‍යතා සහිත) දරුවන්ගේ ගුරුවරයකු බවට පත් කළා. එතැන් පටන් අම්මාට මගේ අනාගතේ ගැන විශ්වාසයක් තිබ්බා. දිනක් අම්මා මාව විශේෂ ළමයි එක්ක වැඩසටහනකට සහභාගි කළා.
ඇත්තටම මන් හිතන් හිටියේ මට තියන අඩුපාඩුව තමා ලෝකේ ලොකුම එක. ඒත් මට තේරුම් ගන්න පුළුවන් වුණා මට වඩා අඩුපාඩු තියන මිනිස්සු තව ඉන්නවනේ කියල. මට අනාගතයක් තියනවා කියලා. එතැන් සිට මන් තනියම මගේ ගමන යන්න පටන් ගත්තා. මන් ක්‍රීඩාව තෝරාගෙන මගේ අභිමානය ඇති කරගත්තා. සාමාන්‍ය පෙළ හොඳට සමත් වෙලා කලා විෂය උසස් පෙළට තෝරාගත්තා. තෝරාගත්තේ ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහල. උසස් පෙල ලියන්කොටම මාව ජාතික සංචිතයට තෝරාගෙන ගුවන් හමුදාවට එකතු වීමේ අවස්ථාව හිමිවුණා.
මන් උසස් පෙළ විභාගෙන් පසුව සම්මුක පරීක්ෂණ වලට ගියත් හතර පාරක් අසමත් කළා. ඒ මන් සුවිශේෂ කෙනෙක් හන්දා. ඒත් මන් වාසනාවන්ත වුණා. ගුවන් හමුදාව මගේ දක්ෂතාවයන් හට වටිනාකමක් දුන්නා. අද මන් මගේ ගුවන් හමුදාවට ඒ නාමයට කීර්තියක් ගෞරවයක් එක් කරන ජාතික සංචියේ ක්‍රිඩිකාවක්. උසස් පෙලින් විශ්වවිද්‍යාලයට වරම් ලද මා එය අතහැර ගුවන් හමුදාව තෝරාගෙන මගේ අම්මාගේ උපාධිය බාහිරින් සම්පූර්ණ කර දුන්නා.
අද මා වීත්තීය මට්ටමේ උපදේශිකාවක් විදියට නිර්මාණය කිරීමේ ගෞරවය ජ්‍යේෂ්ඨ උපදේශක ප්‍රභා අබේසිංහ, මනෝචිකිත්සකයා දොස්තර උපාලි මාරසිංහ, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ගාමිණි හපුආරචිචි යන මහත්වරුට හිමි වනවා. මට මේ අවස්ථාව හිමිවුනේ ඒ දෙවිවරුන් හන්දයි.
ජීවිතේ අපිට අඩුපාඩු දෙන්නේ ආශිර්වාදයක් වෙන්න. ඒ අඩුපාඩුවම තමයි මගේ ජීවිතේ එළිය කළේ. ඒ මාවතේ මට එළිය දුන්නේ මගේ අම්මයි, තාත්තයි, මල්ලි හා මගේ ගුරුවරු. ඒ වගේම මාව එපා කියලා ඈත් කරපු යාළුවෝ. ඒ අතරේ මට උදව් කරපු යාළුවෝ.
ඔවුන්ට මන් ආචාර කරනවා හදවතින්ම.
පොඩි දේවල් හන්දා ජීවිතය හැර දාන්නේ නැතිව ඔබේ ජීවිතයට වටිනාකමක් දෙන්න.
ඇයගේ ජීව දත්ත තොරතුරු නැරඹීමට පිවිසෙන්න