පහසුකම් නොසලසා  පදක්කම් පමණක් ඉල්ලීම සාධාරණ ද ? 

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර ලෝකඩ පදක්කමකින් පමණක් සෑහීමට පත් වීමට සිදුවිය. විදූෂා ලක්ෂානී තුන්පිම්ම කාන්තා ඉසව්වෙන් සහභාගීවෙමින් එම දක්ෂතාව දැක්වූව ද සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පදක්කම් දිනා ගැනීටම් වාසනාව අහිමිවීය.

විදුෂා ලක්ෂානී ද මෙරට පැවැති තේරීම් තරගාවලි දෙකේ දීම පරිසාධන මට්ටමට ළඟා වූ ක්‍රීඩිකාවක් නොවුව ද අතීත දක්ෂතා පදනම් කරගනිමින් තරගාවලියට එක් කළ ක්‍රීඩිකාවකි.

පදක්කම් සටහන දෙස බලා තීරණයකට එළඹීමට පෙර, ඒ සඳහා බලපෑ කරුණු කාරණා දෙසද අවධානය යොමු කළ යුතුය.

ආසියානු කලාපය නියෝජනය කරන ලෝක මට්ටමේ පසුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියල්ලම පාහේ මෙවර තරගාවලියට සහභාගීවී සිටීම විශේෂයෙන් ම සඳහන් කළ යුතු ය.

අප්‍රිකානු සම්භවයෙන් යුතු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද කටාර් හා බහරේන් නියෝජනය කරමින් සහභාගී වූ අතර, මෙවර තරගාවලිය සැලකුණේ මෙතෙක් ආසියානු ශූරතාවලි ඉතිහාසයේ පැවති තරගකාරීම තරගාවලිය ලෙසයි.

කොළඹට බෝම්බ ප්‍රහාරයක්

තරගාවලියේ ආරම්භක දිනය වූ අප්‍රේල් 21 වැනි දින අලුයම අවදී වූ කණ්ඩායමේ කන වැකුනේ “කොළඹට බෝම්බ ගහල 300 විතර මැරිල, තව බෝම්බ තැන් තැන්වලින් අහුවෙනවලු.” යනුවෙනි.

ඔවුන් සියලු දෙනාට දුරකතන ඔස්සේ නිවෙස් වෙත ඇමතුම් දීමටත්, තම හිත මිතුරන්ටග් සුව දුක් විමසීමටත් පළමු දිනයේ පෙරවරුව වැය කිරීමට සිදුවිය.

 

මව්පියන් හිතමිතුරන්ගෙන් ඈත්වී මානසික ඒකාග්‍රතාවයෙන් තරග බිමට පිවිසීමට ඉන් බාධා එල්ලවූවාට සැක නැත.

 


කෝ පදක්කම්

මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වට සහභාගී වූ නිලානී රත්නායකට පදක්කම අහිමි වූයේ තරග අවසානයට මීටර් 50 පමණ තිබිය දී, සමබරතාව ගිලිහී ඇද වැටීමට හේතුවෙනි.

මෙරට දී තනිව තරග කරමින් ශ්‍රී ලංකා වාර්තාව තුන් වරක් අලුත් කළ නිලානී, ඇයගේ ක්‍රීඩා දිවියේ ක්‍රීඩිකාවන් වැඩි පිරිසක් සමගින් තරග කළ තුන්වැනි තරගය මෙය වේ.

 

 

2017 වසරේ ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී, තරගය අවසන් නොකළ ඇය, ආසියානු ක්‍රීඩා උළෙලේ දී 6 වැනි ස්ථානයට පත්වූවාය. ඉන් නොනැවතී මෙවර ආසියානු ශූරතා තරගාවලියේ දී, සිව්වැන්නා බවට නිලානී පත් වූවේ, ඇයගේ අවාසනාව නිසා නොව “පදක්කම් කෝ” යනුවෙන් ප්‍රශ්න නගන්නන්ගේ අවාසනාව හේතුවෙන් විය හැකි ය.

 

මීට අමතරව, වසර ගණනකට පසුව මීටර් 400 කාන්තා සහාය දිවීමේ ඉසව්වට සහභාගී වූ කණ්ඩායම වසර 20 ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට සමත් වූවාය. සිව්වැනි ස්ථානයෙන් සෑහීමට පත් වූ ඔවුනට ද ලෝකඩ පදක්කම අහිමිවූයේ, තත්පර දශමයකිනි.

 

ජ්‍යේෂ්ඨ කණ්ඩායමට එක්වීමෙන් පසුව පළමුවරට ජාත්‍යන්තර තරගාවලියකට සහභාගී වූ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු වූ නදීෂා රාමනායක හා ඩිල්ෂි කුමාරසිංහ සමගින් පළමු වරට සහාය දිවීමේ ඉසව්වට සහභාගීවෙමින්, දමයන්තී දර්ශා ප්‍රමුඛ ව 1999 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී පිහිටුවනු ලැබූ ශ්‍රී ලංකා වාර්තාව අභිබවා යෑම සුවිශේෂී ජයග්‍රහණයක් වේ.

මින් පෙර ප්‍රධාන පෙළේ  ජාත්‍යන්තර තරගාවලියකට සහභාගී නොවූවත්, නදීෂා රාමනායක මූලික වටයේ තරගය ජය ගනිමින් අවසන් තරගයේ දී 6 වැනි ස්ථානයට පත් වුවාය.

එසේම කාන්තා මීටර් 800 ඉසව්වට සහභාගී වෙමින්, ගයන්තිකා අබේරත්න සිව්වැනි ස්ථානයට පත් වීමට සමත් වූවාය.

මේ අතර, තරගාවලියට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15 දෙනා අතරින් ක්‍රීඩකයන් තිදෙනෙකු හැරෙන්නට අනෙක් සියලු දෙනා ම අවසන් තරගයට සහභාගී වීමට වරම් ලබා ගත්තේය.


තරගාවලිය පැවති වටපිටාව

ලොව මලල ක්‍රීඩාව වෙනුවෙන් ඉදිකළ ක්‍රීඩාංගණ අතරින් ප්‍රමුඛ ස්ථානයක පවතින කටාර් හි කලීෆා ක්‍රීඩාංගණය, ස්වයංක්‍රීය සිසිලන පද්ධතියකින් ද යුතුව ඉදිකර තිබීම ද, මෙරට ක්‍රීඩිකාවන්ට අභියෝගයක් වූවා නොඅනුමානය.

එම සිසිලන පද්ධතිය හරහා පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ක් වුවද, ක්‍රීඩාංගණයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 14 ක් දක්වා අඩු කිරීමේ හැකියාව ඇති බව පැවසේ. මෙම තරගාවලිය ද සෙල්සියස් අංශක 23-25 අතර මට්ටමක පැවැත්විණ.

පහතින් සඳහන් වන්නේ, ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ මාධ්‍ය ප්‍රධානී නිකෝල් ජෙෆ්‍රි විසින් ඉහත සඳහන් සිසිලන පද්ධතිය සම්බන්ධයෙන් විමතියෙන් යුතුව කළ සඳහනක්.

 

එසේම අප ක්‍රීඩිකාවන් කිසිවෙකුට රාත්‍රී කාලයේ පුහුණුවීම් සිදුකිරීමට අවස්ථාව මෙරට දී හිමි වන්නේ නැත. මෙරට පැවැත්වෙන දේශීය තරගාවලියක් හෝ රාත්‍රියේ පැවැත්වීමට කටයුතු කරන්නේ නැත.

කටාර් හී සන්ද්‍යා කාලයේ තරග ආරම්භ වූයේ එරට වේලාවෙන් පස්වරු 5.00ට පමණ වූ අතර, පස්වරු 10.00 පමණවනතෙක් තරග පැවැත්විණ.  එය මෙරට වේලාවෙන් පස්වරු 7.30 සිට මධ්‍යම රාත්‍රී 12.30 දක්වා යි. පැය 2.30 ක කාලයේ වෙනස ක්‍රීඩකයෙකුගේ ශරීර ක්‍රියාකාරීත්වයට බලපෑමක් එල්ල කරනු ලබනවාට සැක නැත. ජ්‍යේෂඨ ක්‍රීඩකයන් එම වෙනසට හැඩ ගැසුනද නවක ක්‍රීඩකයන්ට එයද අභියෝගයක් විය.

“මොන්ඩෝ” කෘතීම ධාවන තීරු වල මෙරට ක්‍රීඩ ක්‍රීඩිකාවන්ට තරග වැදීමට ලැබෙන අවස්ථා ඉතාම අල්පවීම ද සුපුරුදු දක්ෂතා දැක්වීමට බාධාවක් එල්ල කරයි. මෙවැනි තාක්ෂණික ගැටලු සඳහා ද පිළිතුරු හා විසඳුම් ලබා දීමේ අවශ්‍යතාව මතුව තිබේ.


ලැබෙන තරග අවස්ථා ප්‍රමාණවත් ද ?

සිව්වැනි ස්ථානය දිනාගත් නිලානී රත්නායකට වසරකට තරගකාරී එක් තරගයක් පමණක් ලබා දී උපතින්ම දුර දිවීමේ දක්ශයන් වන  අප්‍රිකානු ක්‍රීඩිකාවන් පරාජය කර පදක්කම් බලාපොරොත්තු විය නොහැක. ඒ සඳහා අත්දැකීම් ලබා ගැනීමට තරගකාරී තරගාවලිවලට යොමු කළ යුතු වේ.

නමුත් මොවුනට එවැනි වරප්‍රසාද නොලැබේ. එසේම මීටර් 400 සහාය දිවීමේ කාන්තා කණ්ඩායමක් තරගාවලියකට සහභාගී වී ඇත්තේ 2016 වසරේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලෙන් පසුවය. කණ්ඩායමක් ලෙස මොවුන් සිව් දෙනා එක තරගයක් හෝ දේශීයව හෝ තරග කර නොමැතිව ශ්‍රී ලංකා වාර්තාව ද අභිබවා යෑමට සමත් වූවාය.

 


මෙවර තරගාවලියේ තරගකාරීත්වය

23 වැනි වරට පැවැති මෙවර ආසියානු ශූරතා තරගාවලියේ දී, තරගාවලි වාර්තා 15 ක් බිඳ වැටිණ. එසේම එතෙක් එම වසරේ ලෝව මලල ක්‍රීඩා දක්ෂතා අතරින් ඉහළම දක්ෂතා (World Lead [WL]) 9 ක් වාර්තා වීමෙන්ම තරගාවලියේ තරගකාරීත්වය  මනාව පිළිබිඹුවෙයි.

එක් කෘතීම ධාවන පථයක් පමණක් ඇති, ශ්‍රී ලංකාව වැනි රටක ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක මෙවැනි තරගාවලියක අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීම ද, පැසසිය කරුණක් බව බළධාරීන්ට පසක් විය යුතුවේ.

 

පදක්කම් සටහනෙන් පමණක් පදක්කම් බලාපොරොත්තුවන ඔවුනගේ අවධානය යොමු කළ යුතු කාරණා රැසක් තිබේ.

ඉතා ධනවත්, හා පහසුකම් වලින් අනූන රටවල් පවා මෙවර තරගාවලියේ දී එකදු පදක්කමක් හො නොලබා හිස් අතින් නිවෙස් බලා ගියේය.

අප්‍රිකානුවන් ආනයනය කරමින්, ක්‍රීඩා කරන සත්කාරක කටාර් රාජ්‍යය ද දිනා ගත්තේ රන් පදක්කම් දෙකක් ඇතුළුව පදක්කම් 6 ක් පමණි.

දකුණු ආසියාවේ දැවැන්තයන් වන ඉන්දියාව ද මෙවර දිනා ගැනීමට සමත් වූයේ රන් පදක්කම් 3 ක් සහිතව පදක්කම් 17 ක් පමණි.

පසුගිය වර රන් පදක්කම් 12ක් සමගින් සමස්ත පදක්කම් 20 ක් දිනාගත් ඉන්දියාව 2015 වසරේ දී රන් පදක්කම් 4 ක් සමගින් පදක්කම් 13 ක් දිනා ගත්තේය.

මෙවර පදක්කම් දිනාගත්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් බහුතරය තම පුහුණු කටයුතු හා තරග සඳහා සහභාගීවන්නේ යුරෝපීය රටවල හා ඇමරිකානු එක්සත් ජනපදයේ දීයි. එසේ තිබියදී අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙරට දී පමණක් දක්වන දක්ෂතා පදනම් කරගනිමින් ප්‍රධාන පෙළේ තරගාවලිවල දී පදක්කම් ලබා ගනු ඇතැයි සිතීම ද හාස්‍යජනක නොවේ ද?

සෙසු රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලෝක පූජිත සන්නාම මගින් ඇඟලුම් ලබා දී තිබුණ ද, ලෝකයටම නිමි ඇඳුම් සපයන  අප රටේ කණ්ඩායමට එවැනි සුවපහසු ඇඟලුමක් හෝ ලබා දීමට  කටයුතු කරන්නේ නැත.

 



කොච්චර කළත් මොනව ද ලැබෙන්නෙ ?

වර්ථමානය වනවිට මලල ක්‍රීඩකයා ක්‍රීඩා අමාත්‍යංශයෙන් දාසයෙකු බවට පත් වී සිටයි. ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ සහාය නොවන්නට මලල ක්‍රීඩාව මේවනවිට මෙරටින් තුරන්ව යෑමට ඉඩ තිබිණ. 2016 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලන් පසුව ක්‍රීඩකයන් රැක බලා ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශයෙන් පෝෂණ දීමනාවක් ලබා දීමට පියවර ගැනිණ. ඒ හේතුවෙන් ම පසුගිය වසර කිහිපයේ දී, මලල ක්‍රීඩාව නැවතත් දළුළා වඩෙන්නට විය. යොවුන්, කණිෂ්ඨ හා ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් බොහෝ පිරිසක් වාර්තා අලුත් කරමින් උපරිම දක්ෂතා අතරට පිවිසියේය.

නමුත්, ක්‍රීඩා අරමුදලෙන් ලබා දුන් එම දීමනාව ද පසුගිය වසරේ අප්‍රේල් සිට ලබා දීම නතර කර තිබේ. ත්‍රිවිධ හමුදාවේ වේතනයෙන් පමණක් යැපෙන මේ ක්‍රීඩකයන්ට දැන් හිමිවන්නේ, ඉහළ නිළධාරීන්ගේ ගර්ජන හා තරගාවලියකට පිටත්ව යෑමේ දී ගුවන් ටිකට් පත පමණය.


සියලුම ක්‍රීඩකයන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තා ද ?

කෙසේ වෙතත්, 15 දෙනෙකුගෙන් යුතු වූ කණ්ඩායමේ අධුනික ක්‍රීඩකයන් හැරුණු විට අත්දැකීම් බහුල ජ්‍යේශ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තමන්ට හිමිවූ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන නොගැනීම ද දැක ගත හැකි විය.

ඔවුන් ගේ උපරිම දක්ෂතා ඉස්මතු කරගැනීමට ද දීර්ඝ කාලීන සැලසුමක් සකස් කළ යුතුවේ. ප්‍රධාන තරගාවලියකට සුදුසුකම් ලබා ගැනීමට පමණක් වෙහෙසුන ද ල ද අවස්තාවේ දී  තම උපරිම දක්ෂතාව දැක්වීමට හෝ අපොහොසත් වීම අවස්ථාව අහිමිවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදුකරන බලවත් අසාධාරණයක් වේ.

 

අවසානයේ කෝ මෙඩල් ලෙස පමණක් ඇසීම කොතරම් සාධාරණ ද ?

Multi Medalists

Placing Table

Record Set

Results

wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org