පදක්කම් සිනහව යට සැගවුණු කදුළු කතාව
|Anyika Onuora (අන්‍යිකා ඔනෞරා) වසර 12ක් පුරා මහා බ්‍රිතාන්‍යය සහ එංගලන්තය වෙනුවෙන් තරග කරමින් ඔලිම්පික්, ලෝක ශූරතා, යුරෝපීය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ධාවන සහ සහය දිවීමේ පදක්කම් දිනා ගත් ක්‍රීඩිකාවක්. එහෙත් ඇයගේ පදක්කම් දිනූ සිනහව පිටුපස තිබුණේ බිහිසුණු කායික හා මානසික කැලඹීම්වලින් පිරුණු කටුක ගමනක් බව දැන සිටියේ අතළොස්සක් පමණයි. ඇගේ අලුතින් ප්‍රකාශයට පත් කරන ලද ස්වයං චරිතාපදානය වන “My Hidden Race” හි අන්‍යිකා ඒ සියල්ල හෙළි කර තිබෙනවා.
“ජීවිතය සාධාරණ නොවන බව කුඩා කල සිටම මට උගන්වා තියෙනවා. වසර ගණනාවක් මගේ දෙමාපියන් වර්ණභේදවාදය සමඟ කටයුතු කළා. ඔවුන්ගේ කැපකිරීම් අවසානයේ මට ලෝකයේ විශිෂ්ටතම මලල ක්‍රීඩා ධාවන පථවල ධාවනය කිරීමට වේදිකාව සහ අවස්ථා ලබා දුන්නා. නමුත් මම බ්‍රිතාන්‍ය ක්‍රීඩිකාවක් විදියට දිවා රෑ දෙකේ මාව හොල්මන් කරන දේවල් අත්විඳලා තියෙනවා. කොච්චර උත්සහ කලත් මගේ හිතේ තියෙන ඒ අඳුරු මතකය පරද්දන්න බෑ. මම අමානුෂික ලෙස ලිංගික අතවරවලට ලක්වුණා වගේම, වාර්ගික අපචාරවලට නිතර මුහුණ දුන්නා. ඒ පීඩනය නිසාම මම දෙවරක් සියදිවි නසා ගැනීමට පවා උත්සහා කළා. ඒ මම මගේ රට වෙනුවෙන් තරගකරන අතරතුරේමයි” අන්‍යිකා සිය ස්වයං චරිතාපදානයේ තම අමිහිරි මතකය සිහිකරන්නේ එලෙසයි.
“මගේ දෙමාපියන් නයිජීරියානු ජාතිකයන්. මම උපන්නේ ලිවර්පූල් හීදී. එහි ඩිංගල් උපනගරයේ වීදියක අපි කාලයක් ජීවත් වුණා. එහි පළමු දිනයේ සිටම, ඒ ප්‍රදේශයේ ළමා කල්ලියකින් මට එරෙහිව දරුණු වෛරයක් ඇතිවෙලා තිබුණා. ඔවුන් අපේ පවුල කිසිසේත් පිළිගත්තේ නැහැ. ඒ කුඩා සුද්දන්ගේ ලෝකේ එකම කළු මුහුණු වෙන්න අපිට සිද්ධ වුණා නිසා අපිව නිතරම ඔවුන්ගේ ගොදුරු වුණා. ඒ වගේ වෛරයක් අපි ඊට කළින් අත්විඳ තිබුණේත් නැහැ. අපි ගෙදරින් එළියට ගියේ හේතු දෙකක් නිසා විතරයි. පාසලට හෝ පල්ලියට යාමට. ඒ අතර බොහෝවෙලාවල අපේ ගෙදරට බිත්තර ප්‍රහාර වගේම ගල් මුල් ප්‍රහාර පවා එල්ල වුණා. වරෙක අපේ කාර් රථය පවා ඔවුන් ගිනි තැබුවා.”
හිරිමල් වියේ දැරියකට ඒ අමිහිරි අත්දැකීම් දරාගන්න හැකියාවක් ලැබුණේ කෙසේද?
“මගේ දෙමාපියන්ට සහ පවුල් ජීවිතයට මා ගොඩක් ආදරය කරන්නේ, මගේ අම්මා සහ තාත්තා නිතරම අපට පැවසුවේ, ‘අවාසනාවකට ඔබට ඔබේ සුදු සගයන්ට සමීප වීමට පවා ඔබට 10 ගුණයක් වෙහෙස මහන්සි වී වැඩ කරන්න වෙනවා. නමුත් එය ඔබට ඔබේ ජීවිතයේ කිරීමට අවශ්‍ය දේවලින් ඔබව ඈත් කරගෙන කරන්න අවශ්‍ය නැහැ.’ පළමු දිනයේ සිටම මගේ දෙමාපියන් මා තුළ ඇති කළ ඒ ශක්තිය අනුව මගේ ශක්තිය තවත් වැඩි වුණා.” ඒ ඇයගේ පිළිතුරයි.
ධාවන පථයේ දක්ෂතා දක්වමින් තරගබිමට එක්වන විට පවා ඇය දැඩි පීඩනයකට ලක්ව තිබෙනවා.
“මම තරඟ කිරීමට නැඟෙනහිර යුරෝපයට ගිය අවස්ථා තිබෙනවා. එවිට මාව දේශසීමා පාලනයේ නවත්වා කාමරයක රඳවා සිටියා. එහිදී ඔවුන් ඇසුවේ ‘ඔබ මෙහි කරන්නේ කුමක්ද?’ මගේ පිළිතුර වුණේ, ‘මම මෙතන ඉන්නේ තරග කරන්න’, නමුත් ඔවුන් නැවත අසන්නේ , ‘නැහැ, ඔබ ඇත්තටම මෙහි කරන්නේ කුමක්ද?’ යන්නයි. එවිට මට වචනාර්ථයෙන් ඔවුන්ට පිළිතුරු දිය නොහැකි නිසා ලියකියවිලි පෙන්විය යුතු වුණා. නැතහොත් මගේ නියෝජිතයා අමතන්න, නැතහොත් ඔවුන්ගේ අධ්යක්ෂවරයා අමතා සියල්ල පැහැදිලි කරන්න සිදුවුණා.”
අන්‍යිකා සුදු ජාතිකයෙක් වූයේ නම්, ඇයට මෙවනි දේවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඔබ සිතන්නේ දැයි ඇය ප්‍රශ්න කරයි. ඒ පුංචි පුංචි දේවල් පවා ඇයට පීඩනයක් වූ බවත් ඇය වටා තවත් කළු මලල ක්‍රීඩකයින්ගේ කණ්ඩායමක් සිටීම ඇත්තෙන්ම වැදගත් වූයේ එබැවින් බවත් ඇය පෙන්වා දෙනවා.
“මම විවිධ භෞතික චිකිත්සකයන් ළඟට ගියා. දිනක් මගේ සුපුරුදු physio හිටියේ නැති නිසා මම වෙන කෙනෙක් ළඟට ගියා. ඔහු මාගේ තද මාංශ පේශි මුදා හැරීමට වැඩි බලයක් ලබා ගත යුතු බව පවසමින් මාව අතවරයකට ලක් කළා. ඒ මොහොතේ ඒ ශක්තිමත් පිරිමි ශරීරය හමුවේ මට මහා අසරණ බවක් මට දැනුණා”
“වසර ගණනාවකට පසු, මම පිටරට තරගාවලියකට සහභාගි වන අතරතුර මා දන්නා හඳුනන ක්‍රීඩකයෙකු හොඳටම බීලා මට නටන්න එන්න කිව්වා. ඒ සෑම අවස්ථාවකදීම මම ආචාරශීලීව “බැහැ” කීව්වා. අන්තිමට මම එයාට කිව්වා මම ආපහු යන්න බස් එක අල්ලගන්නවා කියලා. ඔහු මගේ ඉනෙන් තරමක් තදින් අල්ලාගෙන මට පුදුමාකාර රාත්‍රියක් මග හැරෙන බව කීව්වා. මම ඔහුගේ දෑත් ඉවත් කර සමුගෙන බසයට නැඟී මගේ හෝටලයේ කාමරය වෙත ගියා. වෙලාව පාන්දර 3යි. කවුරුහරි මගේ දොර අරින්න හදනවා මට ඇහුණා. තත්පර කිහිපයකින් එය බලහත්කාරයෙන් විවෘත වුණා. ඒ කවුද කියලා මට තේරුණා. මම බය වුණේ නැහැ, නමුත් මම බරපතල ලෙස කෝපයට පත් වුණා. මම ඔහුට කැමති බව පිළිගන්නා තුරු ඔහු පිටව නොයන බව ඔහු මට පැවසුවා. මම එය ප්‍රතික්ෂේප කළ අතර තත්පරයකින් ඔහු ආක්‍රමණශීලී ලෙස මාව අල්ලා ගත්තා. එකපාරටම මම බය වුණා.
ඔහුගේ ග්රහණයෙන් මම මිඳුණු පළවෙනි මොහොතේ ම මම ඔහුට පාපහරක් එල්ල කරලා ඔහුව කාමරයෙන් එළවා ගත්තා.”
ක්‍රීඩා දිවිය තුළ තමන් මුහුණ දුන් කටුක අත්දැකීම් ඇය වචනවලට පෙරළන්නේ එළෙසයි.
මෙම මලල ක්‍රීඩිකාව විඳදරාගත් පහරදීම් හෝ වර්ණභේදවාදී සිදුවීම් තව බොහෝමයක් ගැන ඇය තම චරිතාපදානයේ සඳහන් කර තිබෙනවා. නමුත් ඊට පෙර ඒ ගැන බ්‍රිතාන්‍ය මලල ක්‍රීඩාවට සම්බන්ධ කිසිවකුට ඇය පවසා නොමැත. ඒ, ඇය මුහුණ දුන් අත්දැකීම් තේරුම් ගැනීමට හැකි කෙනෙකු සිටින බව ඇයට කිසි විටෙකත් දැනුණේ නැති නිසා බවයි ඇය පවසන්නේ. සහායක කාර්ය මණ්ඩලයේ අතිමහත් බහුතරය සුදු ජාතිකයින් වූ අතර කිසිවකු වාර්ගික වෙනස්කම් අත්විඳ නොතිබුණු නිසා කිසිවෙක්ගේ සහය තමා වෙත නොලැබෙතැයි ඇය සිතන්නට ඇත.
“මම දැන් මේ කතාව කියන්නේ කායික හා මානසික පීඩාවට පත්වන පත්වූ අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නොපැකිලව කතා කිරීමට ධෛර්යය ලැබෙනු ඇතැයි යන බලාපොරොත්තුවෙන්.” ඇය තම ස්වයං චරිතාපදානය එළි දැක්වීම පිළිබඳව අදහස් දක්වමින් පවසා තිබෙනවා.
Full Interview:- https://athleticsweekly.com/interviews/anyika-onuora-on-living-with-racism-1039950842/
~ සුපුන් රජිත හෙට්ටිආරච්චි ~